ගල්ෆ් නිවුස්, 2026 ජනවාරි 03: සෙනසුරාදා රාත්‍රියේ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද රජය පවසයි. නිව්යෝර්ක් හි ගොනු කර ඇති අධිචෝදනා මත ඔහු දැන් අපරාධ චෝදනාවලට මුහුණ දෙනු ඇත. අලුයම 2 ට පමණ වෙනිසියුලානු අගනුවර වන කරාකස් වෙත එල්ල වූ බෝම්බ පිපිරීම් හඬින් මිනිසුන් බියෙන් වීදිවලට දිව ගියහ. අගනුවරට එල්ල වූ මෙම ප්‍රහාරය විනාඩි 30 ක් පමණ පැවතුනි.
සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලානු තෙල් ව්‍යාපාරය “දිගු කලක් තිස්සේ සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති” බවත්, එහි ඇමරිකානු තෙල් සමාගම් බිලියන ගණනින් ආයෝජනය කරනු ඇති බවත්ය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මදුරෝ සහ ඔහුගේ බිරිඳ ෆෙඩරල් චෝදනාවලට මුහුණ දීම සඳහා නිව්යෝර්ක් වෙත රැගෙන යන බවයි. මෙම හමුදා ප්‍රහාරය සහ මෙහෙයුම ඔහු විස්තර කළේ “රූපවාහිනී වැඩසටහනක්” (television show) වැනි බවයි.
වෙනිසියුලානු රජය මෙය වොෂින්ටනය විසින් සිදු කරන ලද “අතිශය බරපතල හමුදා ආක්‍රමණයක්” ලෙස හෙළා දුටු අතර රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය.
මදුරෝ රජය සමඟ දීර්ඝ කාලීන සබඳතා පැවැත්වූ රුසියාව සහ ඉරානය වැනි රටවල් මෙම මෙහෙයුම වහාම හෙළා දුටු අතර, ප්‍රංශය සහ යුරෝපා සංගමය ඇතුළු වොෂින්ටනයේ මිත්‍ර රටවල් ද මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇත.
ප්‍රධාන ප්‍රතිචාරවල සාරාංශය:
කැනඩාව: අගමැති මාර්ක් කාර්නි පැවසුවේ “වෙනිසියුලානු ජනතාවගේ ප්රජාතන්ත්රවාදී කැමැත්තට ගරු කරන සාමකාමී, සාකච්ඡාමය විසඳුමක් කැනඩාව දිගු කලක් තිස්සේ දිරිමත් කරන” බවයි.
රුසියාව: එක්සත් ජනපද නායකත්වය “සිය ස්ථාවරය නැවත සලකා බලා, ස්වෛරී රටක නීත්‍යානුකූලව තේරී පත් වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිදහස් කළ යුතු” බව ඉල්ලා සිටියේය.
චීනය: “චීනය දැඩි කම්පනයට පත්ව සිටින අතර ස්වෛරී රාජ්‍යයකට එරෙහිව එක්සත් ජනපදය බලය භාවිතා කිරීම සහ එහි ජනාධිපතිවරයාට එරෙහි ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින” බව බීජිං පවසයි.
මෙක්සිකෝව: මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් හමුදා බලය යොදා ගන්නා බවට මීට පෙර තර්ජනය කර තිබූ මෙක්සිකෝව, මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දුටුවේය. මෙය “කලාපීය ස්ථාවරත්වයට බරපතල තර්ජනයක්” බව ඔවුන් පැවසීය.
කොලොම්බියාව: ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ මෙය ලතින් ඇමරිකාවේ “ස්වෛරීභාවයට එල්ල වූ ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර එය මානුෂීය අර්බුදයකට තුඩු දෙනු ඇතැයි පැවසීය.
බ්‍රසීලය: ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා එක්සත් ජනපද ප්‍රහාර වෙනිසියුලාවේ ස්වෛරීභාවයට එල්ල වූ “බරපතල අපහාසයක්” ලෙස හෙළා දුටුවේය.
කියුබාව: වෙනිසියුලාවේ ප්‍රබල මිතුරෙකු වන කියුබාව මෙය “වෙනිසියුලානු ජනතාවට එරෙහි රාජ්‍ය ත්‍රස්තවාදය” ලෙස හැඳින්වීය.
ස්පාඤ්ඤය: අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා මැදිහත් වීමට ඉදිරිපත් වූ අතර “සංයමයෙන් කටයුතු කරන ලෙස” ඉල්ලා සිටියේය.
ප්‍රංශය: එක්සත් ජනපද මෙහෙයුම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව පවසමින් එය හෙළා දුටුවේය.
යුරෝපා සංගමය (EU): මදුරෝට “නීත්‍යානුකූල භාවයක් නොමැති” බව සඳහන් කළද, ජාත්‍යන්තර නීතියට ගරු කරන ලෙස බලකර සිටියේය.
බෝල්කන් රටවල්: උතුරු මැසිඩෝනියාව, ඇල්බේනියාව සහ කොසෝවෝ වැනි රටවල් වොෂින්ටනයේ ක්‍රියාවට සහය පළ කළහ.
බ්‍රිතාන්‍යය: අගමැති කීර් ස්ටාර්මර් පැවසුවේ සියලුම රටවල් “ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කළ යුතු” බවයි. තවද මෙම මෙහෙයුමට බ්‍රිතාන්‍යයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු පැහැදිලි කළේය.
ඉතාලිය: ඇමරිකාවට සහය පළ කරමින් ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පැවසුවේ ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ගය “නීත්‍යානුකූල” සහ “ආත්මාරක්ෂාව සඳහා වූවක්” බවයි.
ඊශ්‍රායලය: වොෂින්ටනය “නිදහස් ලෝකයේ නායකයා” ලෙස ක්‍රියා කළ බව පවසමින් මෙම මෙහෙයුම අගය කළේය.
යුක්රේනය: මෙහි නීත්‍යානුකූලභාවය ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටි යුක්රේනය, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.
දකුණු අප්‍රිකාව: “මෙවැනි නීති විරෝධී, ඒකපාර්ශ්වික බලය යෙදවීම් ජාත්‍යන්තර පටිපාටියේ ස්ථාවරත්වය සහ ජාතීන් අතර සමානතා මූලධර්මය බිඳ දමන” බව පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්: එක්සත් ජනපද ප්‍රහාර සම්බන්ධයෙන් “දැඩි ලෙස කැළඹීමට” පත්ව සිටින අතර, මෙය “භයානක පූර්වාදර්ශයක්” විය හැකි බව ඔහුගේ ප්‍රකාශකයා පැවසීය.