TIMESOFINDIA.COM, 2026 පෙබරවාරි 7: ටොරොන්ටෝ නගරයේ කාන්තාවන්ට සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ට අපරාධමය වශයෙන් හිරිහැර කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් 45 හැවිරිදි ශ්‍රී ලාංකික ඉන්ෆ්ලුවන්සර් (Influencer) කෙනෙකු වන මොහොමඩ් අස්කාර් මොහොමඩ්-රසික්ව ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කැනඩාව පුරා ප්‍රසිද්ධ ස්ථානවල සිටින පුද්ගලයින් අසලට ගොස් ඔවුන්ව අපහසුතාවයට පත්වන අයුරින් වීඩියෝ කර ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මොහු ප්‍රසිද්ධියක් උසුලයි.
පොලිසිය පවසන පරිදි, 2025 ජූනි 8 වන දින ඩන්ඩාස් ස්ට්‍රීට් වෙස්ට් සහ ඩෆරින් ස්ට්‍රීට් ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ කාන්තාවකව මොහොමඩ්-රසික් විසින් වීඩියෝ කර ඇත. ඇය එය නතර කරන ලෙස ඉල්ලා සිටි විට, ඔහු ඇය සමඟ බහින්බස් වී දිගින් දිගටම හිරිහැර කර ඇත. ආරක්ෂක අංශ ඔහුව ඉවත් වීමට පැවසුවද, පොලිසිය පැමිණෙන තෙක් ඔහු ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇත.
තවත් සිදුවීමක් ලෙස, 2025 අගෝස්තු 21 වන දින යුනියන් ස්ටේෂන්හි (Union Station) සේවය කළ TTC සේවකයෙකු අසලට ගොස්, ජංගම දුරකථනය එම සේවකයාගේ මුහුණට ඉතා සමීප කර වීඩියෝ කරමින් ඔහුගේ ජාතිකය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇත.
2025 සැප්තැම්බර් 27 වන දින ඩේවිඩ් පෙකෝට් චතුරශ්‍රයේ පෝලිමක සිටි කාන්තාවකව වීඩියෝ කර ඇති අතර, එය නතර කරන ලෙස ඇය ඉල්ලීමෙන් පසුවද ඔහු දිගින් දිගටම ඇයට හිරිහැර කර ඇත.
එසේම 2025 මැයි 26 වන දින, යං ස්ට්‍රීට් සහ ෂූටර් ස්ට්‍රීට් හි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක අසලට ගොස් ඇයව වීඩියෝ කරමින් ඇයගේ පෙනුම ගැන විවිධ ප්‍රකාශ කර ඇත. නැවතත් ඔක්තෝබර් 4 වන දින එම නිලධාරිනිය වෙතම ගොස් මෙවැනිම ක්‍රියාවක නිරත වී ඇත.
2025 දෙසැම්බර් 10 වන දින ටොරොන්ටෝ පොලිසිය විසින් මොහොමඩ් අස්කාර් මොහොමඩ්-රසික්ව අත්අඩංගුවට ගෙන අපරාධමය හිරිහැර කිරීමේ චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත. ඔහු මේ සතිය මුලදී ඔන්ටාරියෝ අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සැකකරුගේ ඡායාරූපයක්ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර තවත් වින්දිතයන් සිටිය හැකි බවට පොලිසිය සැක කරයි.
තොරතුරු ඇති ඕනෑම අයෙකුට ටොරොන්ටෝ පොලිස් සේවය අමතන්න හෝ අපරාධ නවත්වන්නන් හරහා නිර්නාමික උපදෙස් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
කැනඩාවේ අපරාධ නීති සංග්‍රහය යටතේ, අපරාධ හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළහොත් උපරිම වශයෙන් වසර 10 ක සිර දඬුවමක් නියම කළ හැකිය.